අප ගැන
July 7, 2021 2021-10-16 17:09අප ගැන
පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපනය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු
“පිරිවෙණ යන වචනය බුද්ධ කාලයේ පටන් භික්ෂූන් වහන්සේ වාසය කළ ආරාමය හෝ කුටිය හැදින්වීම සඳහා භාවිත කළ බව ත්‍රිපිටක සාහිත්‍යයේ සඳහන් වේ. සියවස් ගණනාවක් පුරා ලංකාවේ ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික අධ්‍යාපන ආයතනය පිරිවෙණ යි. පිරිවෙන් අධ්‍යාපනයෙන් මේ රටට කීර්තියක් ගෙනා ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර හා විනයධර භික්ෂූන් නිර්මාණය කරනු ලැබිණ. සිංහල , පාලි , සංස්කෘත වැනි සම්භාව්‍ය විෂයන් මෙන් ම බුද්ධ ධර්මය, ඉතිහාසය, ඡන්දෝලංකාර, ජෝතිෂ්‍යය සහ තර්ක ශාස්ත්‍රය වැනි විෂයන් ඉගෙනීම හා ඉගැන්වීම පිරිවෙණේ මුඛ්‍යතම කාර්යය විය.මෙම විෂයන් ගුරු භවතුන් විසින් අධ්‍යයනය කරමින් කුඩා සාමණේර භික්ෂූන් හට ඒවා සාකච්ඡා මාර්ගයෙන් සහ වනපොත් කරවීමෙන් ප්‍රගුණ කරවීම සිදු වූයේ පිරිවෙන් අධ්‍යාපනයෙනි. බුදුරාජාණන් වහන්සේ විසින් පනවා වදාළ විනය ශික්ෂා හුරු කරවමින් සමාජයට ආදර්ශවත් භික්ෂු නායකත්වයක් පුහුණු කරණ ලද්දේ පිරිවෙණ මගිනි.
ක්‍රි.පූ. පළමු වන සියවසේ දී දේවානම්පියතිස්ස රජු විසින් ඉදි කරන ලද “කාලප්‍රාසාද” නම් ආරාමය ශ්‍රී ලංකාවේ ප්‍රථම පිරිවෙණ ලෙස සැලකේ. තවද මහා විහාරය සහ අභයගිරිය මෙරට පැවති කීර්තිමත් අධ්‍යාපන ආයතන දෙකකි.අනුරාධපුර රාජධානි සමයේ දී දේශීය පමණක් නොව විදේශීය භික්ෂු පුහුණු මධ්‍යස්ථාන දෙකක් ලෙස ඒවා ප්‍රචලිත වී ඇත. කලකට පෙර මූලායතන ලෙස හැඳින්වූ පිරිවෙන් අධ්‍යාපන මධ්‍යස්ථාන අටක් මෙටර ස්ථාපිත ව තිබී ඇති අතර අෂ්ට මූලායතන ලෙස හැඳින්වෙන්නේ ඒවා ය. වර්තමානය දක්වා පිරිවෙන් අධ්‍යාපනය නොනැසී පවත්වා ගෙන යාමට පුරෝගාමී වූ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන් මෙරට වර්තමාන පිරිවෙන් අධ්‍යාපන ප්‍රබෝධයේ ආදිකර්තෘ වශයෙන් අභිමානයෙන් යුතු ව හැඳින්විය හැකි ය.
අතීතයේ දී ස්වයං පාලනයක් යටතේ පැවති පිරිවෙණ, යටත් විජිත යුගයෙන් පසුව ශ්‍රී ලංකා ජනරජයේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතනයක් බවට පත් වී තිබේ. අද වන විට දිවයින පුරා රජයේ අනුමත පිරිවෙන් 825 ක් පමණ ක්‍රියාත්මක වන අතර එම පිරිවෙන්වල 69000 කට අධික ගිහි පැවිදි සිසුන් පිරිසක් හා 7300 කට වැඩි ගිහි පැවිදි ගුරු පිරිසක් ඉගෙනීම් ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත ව සිටිති. පිරිවෙන් පද්ධතිය තුළ මූලික පිරිවෙන්, මහ පිරිවෙන්, පිරිවෙන් විද්‍යායතන, ද්වීභාෂා පිරිවෙන්, විශේෂ පිරිවෙන් සහ බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතන ලෙස පිරිවෙන් වර්ග කිහිපයක් ක්‍රියාත්මක වේ. ඉතිහාසය පුරා භික්ෂූන් වහන්සේලා පුහුණු කිරීම පිරිවෙන් අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ වූ නමුත් මේ වන විට ගිහි පිරිමි දරුවන් සදහා අධ්‍යාපනය ලබා දීම ද පිරිවෙණ මගින් සිදු කෙරෙයි.”



විශේෂ ප්‍රමුඛතාවයන්
- බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ඉංග්‍රීසි භාෂාව, පරිගණක හා තාක්‍ෂණික දැනුම වැඩි දියුණු කිරීම සඳහා නව අධ්‍යාපන වැඩසටහන් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
- පිරිවෙන් අධ්‍යාපනය නංවාලීම සඳහා විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීම.
- සෑම අංශයකින්ම බෞද්ධ භික්ෂූන්ගේ උසස් අධ්‍යාපන පාඨමාලා/වැඩසටහන් සඳහා පහසුකම් සැලසීම.
- බෞද්ධ භික්ෂුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දරන ලද වියදම් ආපසු ගෙවීම සඳහා මාසික දායකත්ව අනුග්‍රහයක් යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම.
- පිරිවෙන් වල විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ පත්වීම් හා වැටුප් හා වැටුප් සම්බන්ධයෙන් නොවිසඳුනු ගැටලු විසඳීමට සුදුසු පියවර ගැනීම.
- අදාළ බලධාරීන් හා ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් සියලුම ආගම් වල දහම් පාසල් වල ක්‍රියාකාරකම් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.
ජාතික පිරිවෙන් උපදේශක හිමියන්ගේ ආශිර්වාදය

පූජ්‍ය දොඩම්පහළ ශ්‍රී රහුල නා හිමි
ජාතික පිරිවෙන් උපදේශකපිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ හිමියන්ගේ පණිවිඩයක්

පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි
අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්)

දැක්ම
ත්‍රිවිධ ශාසනය සුරකිමින්, අනාගත ලෝකයට අභියෝග ජය ගත හැකි ප්‍රජාවක් බිහි කිරීම.

මෙහෙවර
ඉහළම කාර්යක්ෂමතාවයෙහි හා සියලුම ගුණාත්මක ක්‍රමවේදයන්ගෙන් යුත් සාමූහික සහයෝගිත්වයෙන් යුතු, වගකීමෙන් අරමුදල් ස්තාවර කර ගනිමින්, අනාගත අභියෝගයන්ට මුහුණ දිය හැකි, ගුණ නුවණින් හෙබි පරපුරක් සඳහා සේවාවක් සැපයීම.